20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මුතියකින් සම්මත කල යුතුය.

schedule  2020-Sep-02
library_books Article, General

 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මුතියකින් සම්මත කල යුතුය.

නීතීඥ කමල් නිශ්ශංක, මහලේකම්, ලිබරල් පක්ෂය

 

වර්ෂ 2019 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ ජයග්‍රහණයත්, වර්ෂ 2020 අගෝස්තු 05 වන දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගැනීමත් එහි මිත්‍ර පක්ෂ සමග ආසන 150 ක බහුතර බලයක් තිබීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමට ලැබණු ජනවරමක් ලෙස අර්ථ කථනය කරමින් සිටී. වර්ෂ 2015 දී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු ආසන 45 ක පමණ සුළුතර බලයක් තිබූ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට එවකට සිටි විපක්ෂය වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ සහයෝගය ලබා දීමෙනි.

වර්ෂ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය එක්තරා ආකාරයකින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ලැබූ ජන වරමක් ලෙසද අර්ථ කථනය කර තිබුණි. එකී ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංයුතිය සලකා බැලීමේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තරම් පාර්ලිමේන්තු බලයක් තනි පක්ෂයකට නොවීය. කෙසේවෙතත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවට ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කරමින් අගමැතිවරයාගේ බලය වර්ධනය කරන ක්‍රමයක් ඇති කිරීම යහපාලනවාදී ආණුඩුවේ අරමුණ විය. වර්ෂ 2015 ජනවාරි 08 ජයග්‍රහණය කිරීමට දායක වූ වාම - ලිබරල් සිවිල් සමාජයේ අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පැමිණ දින කිහිපයකින්ම සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අල්ලා ගැනීමේ නිම නොවන සටනක යෙදුනි. මේ හේතුවෙන් සිවිල් කණ්ඩායම් වල කිහිපදෙනෙකුට පමණක් රජය තුල යම් යම් අවස්ථාවන් හිමිවුවද රට පුරා සිටි ක්‍රියාකාරීන් අසරණ භාවයට පත්විය.

වර්ෂ 2015 මැයි 15 වන දින සම්මත වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම මූලික අරමුණ වූ අතර ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරවීමට තිබූ බලය කප්පාදු කර එය වසර හතර හමාරක් යන තුරු කල නොහැක්කක් බවට පත් කළේය. අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ බලය වර්ධනය කිරීම යහපාලනවාදීන්ගේ අරමුණ විය.

බහු පක්ෂ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බොහෝ රටවල ජනතා ඡන්දයෙන් පත්වන පාර්ලිමේන්තුවක් විසුරුවාලීමට රාජ්‍ය නායකයාට බලයක් නොමැත. ජනාධිපතිවරයෙකුට එරෙහි පාර්ලිමේන්තුවක් සමග වැඩකටයුතු කිරීම ගැටලුවක් විය හැක. කෙසේ වෙතත් එම 19 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තු ස්ථාවරත්වය වර්ධනය වූ බව පිළිගත හැකිය. එහෙත් ආසන 113 කට අඩු බහුතර බලයක් ලබන පක්ෂයකට වෙනත් පක්ෂ සමග එකතුවී බහුතර ආණ්ඩුවක් සකස් කර ගැනීමේ ප්‍රතිපාදන එහි ඇත. එහෙත් ජාතික ආණ්ඩුවක් සෑදීමේදී අමාත්‍යවරු 40 ක් දක්වා වැඩි කිරීමට ඇති ප්‍රතිපාදනය යුක්තිගරුක නොවේ. බලයට පත්වන ආණ්ඩුවක් අවම කැබිනට් ඇමති ධූර ලබා දෙමින් කටයුතු කල යුතුබව ජනතාව ඉහලින්ම පිලිගනී. පසුගිය කාලයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම, මහා මාර්ගයේ ගමන් කිරීමේදී  මහජනතාවට පීඩාකාරී ලෙස ගමන් කිරීම, ඔවුන්ගේ පවුලේ උදවිය තමාගේ විවිධ කාර්යය මණ්ඩල වලට පත්කිරීම ආදී කටයුතු හේතුවෙන් අවම අමාත්‍ය මණ්ඩලයක පැවැත්ම මහජනයා පිළිගන්නා කරුණක් වේ.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 1978 ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි ජනාධිපතිවරයාට ඕනෑම ඇමති තනතුරක් තබා ගැනීමේ හැකියාව පැවතුණි. ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා මුදල් ඇමතිකම දිගටම තබාගැනීමත් පසුව චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය මුදල් ඇමතිකම දිගටම තබගැනීමත් ඉන් පසු මහින්ද රාජපක්ෂ මහතාද දිගින් දිගටම මුදල් ඇමතිකම තබා ගැනීමත් මෙයට නිදසුන්ය. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වන පරිදි අමාත්‍යධූරයක් දැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පමණි.අනෙක් අතට සන්නද්ධ හමුදාවල ප්‍රධාන අණදෙන නිළධාරියා වන ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යධූරය තමා යටතේ තබා ගැනීමේ අවස්ථාවද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අහිමිකර ඇත. කෙසේ නමුත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී අන්තර්කාලීන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යධූරය සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරය තමා වෙත රදවාගෙන තිබූ අතර වර්තමානයේ පවතින ව්‍යවස්ථාව අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශයක් තබා ගැනීමේ හැකියාවක් නොමැත.

අනිත් අතට 19 වැනි සංශෝධනයට අනුවම “ජනාධිතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම ප්‍රධානියාද වන්නේය“ යනුවෙන් වගන්තියක් ඇත. ඒ අනුව මෙම තත්වය තුල ජනාධිපතිවරයාට අමාත්‍ය ධූරයක් තබා ගත හැකිද යන්න 19 සංශෝධනය තුලම විකෘති තත්වයක් ඇති කර ඇත. ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ජනාධිපති ආණ්ඩුක්‍රමයක යටතේ පැවතිය යුත්තේ ජනාධිපතිවරයාට විය යුතුය. ඒ අනුව වර්තමානයේ ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිරයා විසින්ම තබා ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සම්මුතියකට එළබිය හැකිය.

වර්ෂ 2019 අප්‍රේල් 21 දිනැති පාස්කු ප්‍රහාරයේදී ජාතික ආරක්ෂාව පිළිබද විශාල හිඩැසක් මතුව තිබූ අතර වගකිවයුතු සියලුම නිළධාරීන් නිසි විධානයක් නොමැති වීම මත තම වගකීම් අතපසුකර ඇත. මෙයට හිටපු ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද වගකිවයුතු වන්නේය. ජනාධිපතිධූරය සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 30 ක් වියුතුද නැතහොත් අවුරුදු 35 ක් වියයුතුද යන්න ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් සභිකයන් සාකච්ඡාකර විසදාගත හැකි සරල ප්‍රශ්නයක් වන්නේය.

දැනට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි එක් තර්කයක් වන්නේ එය එක්තරා දේශපාලන පවුලක දේශපාලන ක්‍රියාකාරිත්වය සීමා කිරීමට කරන ලද උත්සාහ දැරීමක් ලෙසය. මෙහි එක්තරා දුරකට සත්‍යතාවයක් ඇත. කෙසේ වෙතත් ද්විත්ව පුරවැසියෙකුට ශ්‍රී ලකාව තුල දේශපාලනිකව ක්‍රියාත්මක වීමට සහ හෝ රජයේ තනතුරක් දැරීමට හැකියාව තිබීම ඉතා දීර්ඝ වශයෙන් පාර්ලිමේන්තු සාකච්ඡාවකින් පසු තීරණය කලයුතු කාරණයකි. සිංගප්පූරු පුරවැසියෙකු හෝ ද්විත්ව පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන් නැමැත්තා මහ බැංකුවේ අධිපති තනතුරට පත්කරනු ලැබුවේ ද්විත්ව පුරවැසිකම සම්බන්ධයෙන් සීමා පැනවූ යහපාලන ආණ්ඩුව විසින්මය. ඒ අනුව දේශපාලන පවුලකට පමණක් සීමා බන්ධන පැනවීම සදහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ඇති කලාය යන්න ප්‍රභල තර්කයක් ලෙස පවතී.

තවද 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කල අනෙක් ක්‍රමවේදය වූයේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ප්‍රමුඛ ස්වාධීන කොමිෂන් සභා වල පැවැත්මය. ස්වාධීන කොමිෂන් සභා පිළිබද සංකල්පය ප්‍රථම වරට දේශපාලන ක්ෂේත්‍රයට ඉදිරිපත් කලේ 1990 දී ආරම්භකල හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සර්ව පාක්ෂික සම්මේලනයේදී ලිබරල් පක්ෂය විසිනි. මෙම අදහස එකී සමුළුලුවේ විශේෂ කාර්යයක් ඉටුකල ටිරෝන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ දැඩි අවධානයට යොමු විය. රණසිංහ ප්‍රේමදාස මහතාද දේශපාලන වශයෙන් මෙම සංකල්පයට සහයෝගය ලබා දෙමින් එවකට රටේ පැවති දේශපාලන අරගල දෙකකට තරැණයන් සහභාගී වීම මත ප්‍රථමවරට තරුණ සේවා කොමිසමක් පිහිටුවන ලදී. (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට ඇතුලු වීම සදහා 12.5% ප්‍රතිශතය 5% දක්වා කපා දැමීම පිලිබද යෝජනාව ඉදිරිපත් වූයේද මෙම සමුලුවේදීය)

චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිනියද යම් ප්‍රමාණයක ව්‍යවස්ථාදායක සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභා සංකල්පය පිළිගත් අතර 17 වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රථම වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් සහ කොමිෂන් හතක පැවැත්මද රජයේ ඉතාමත්ම ඉහල තනතුරුවලට කරන පත්වීම් ව්‍යවස්ථා දායක සභාව විසින් අනුමත කල යුතු බවට දැක්විණි. 18 වන සංශෝධනය මගින් 17 වන සංශෝධනයෙහි කොමිෂන් සභාවල බලය නැතහොත් පත්කිරීමේ ක්‍රමවේදය ස්වාධින බවින් ඉවත් කර නැවතත් ජනාධිපතිවරයාගේ බලතල වැඩි කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දුනි. වර්ෂ 2015 ජනවාරි 08 වන දින ඇතිවූ දේශපාලන ප්‍රතික්‍රියාව වර්ෂ 2010 සිට පැවති රජයේ බල සංකේන්ද්‍රණිය වැඩ පිළිවෙලට එරෙහි වීමක් බව අවිවාදිත කරුණකි. දැනට ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීමට ඇති එකම ආයුධය වන්නේද ස්වාධීන කොමිෂන් සභා වන්නේය. කෙසේවෙතත් මෙම කොමිෂන් සභාවලට පත් කරන පුද්ගලයන් ස්වාධින පුද්ගලයන්ද එසේ නැතහොත් ඔහු ස්වාධින කොමිෂන් සභා පිහිටවූ දේශපාලන යථාර්තය තේරැම්ගත් පුද්ගලයින්ද, නැතහොත් ඔහු සාම්ප්‍රධායික නිළධාරියෙකු ලෙස කටයුතු කරන්නේද යන්න විවාදයට ලක්වී ඇති කරුණකි. පසුගිය කාලයෙදී ස්වාධීන කොමිසම් හෝ ව්‍යවස්ථාදායක සභා හරහා පත්වීම් ලබාගැනීමට උත්සාහ දරණ ලද රාජ්‍ය සේවකයන්ගේ තොරතුරු ජනමාධ්‍ය වල පලවිය. ඒ අනුව සැබවින්ම ස්වාධීන කොමිෂන් සභාවක අවශ්‍යතාවය අවධාරණය කරන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දැඩිව විවාදයට ලක්කර සම්මුතියක් ඇති කරගත යුතු කරුණකි. දැනට ආණ්ඩුවේ සමහර දේශපාලන මතධාරීන් ජනාධිපතිවරයාට සහ විශ්‍රාමලත් හමුදා නිළධාරීන්ට පාලනයක් ගෙනයා හැකි බවට මතයක් ඉදිරිපත් කර ඇත. මෙය විහිළුවක් ලෙස සැලකිය හැකි අතර සමහර ක්ෂේත්‍රයන්වල ප්‍රවීණයන් නොමැතිව කටයුතු කල නොහැකි බව පැහැදිලි කරුණකි.

ස්වාධීන අධිකරණ සේවයක් ඇති කිරීම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. 1978 ව්‍යවස්ථාව ඇති කරන අවස්ථාවේදී ජේ.ආර්. ජයවර්ධන විසින් හිටපු විනිසුරුවරුන් විශ්‍රාම ගන්වා තම අභිමතයට කටයුතු කරන විනිසුරුවරුන් පත්කරගත් බව නොරහසකි. එසේ වුවද අලුතින් පත් කල අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අතකොළුවක් බවට පත් නොවීම හේතු කොටගෙන ඔහුට විරුද්ධව දෝශාභියෝගයක් ද ඉදිරිපත් කළේය. ශිරාණි බණ්ඩාරනායක මැතිණියද දෝශාභියෝගයක් මගින් ඉවත් කිරීමේ සිදුවීමේද ඇතිතේ විධායකය විසින් අධිකරණයට ඇගිලි ගැසීමකි. ඉහත කරුණු අනුව 19 වන ව්‍යවස්ථාව ඉවත්කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නම් 19 ඇති සාධණිය ලක්ෂණ තවත් විචිත්‍රවත් කර ඉදිරිපත් කල යුතුය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතා වැදගත් නව සංකල්ප කිහිපයක්ද හදුන්වා දී ඇත. ඒ අනුව එමගින් තොරතුරු දැනගැනීම සදහා පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීමත්, මැතිවරණ කොමිෂන් සභාවට වැඩි බලතල ලබා දීමත්, ජාතික විඝණන කොමිෂම ඇති කිරීමත් ඒවායේ ස්වාධීනත්වය සදහා විවිධ ක්‍රියාමාර්ග ගැනීමත් දැක්විය හැකිය. නිදහසින් පසු ලංකාවේ විශාල දේශපාලන කැළඹීම් ගණනාවක් ඇති විය. එබැවින් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සම්මුතිවාදී  ක්‍රමයක් ඔස්සේ ගමන් කරමින් 17, 18, සහ 19 වන ව්‍යවස්ථා සංශෝධන මැනවින් අධයනය කර එකී සංශෝධනයන්ගේ සාධනීය ලක්ෂණ ඇතුලත් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කල යුතු වේ

Latest News