20 වන සංශෝධනය සදහා ජනමත විචාරණයක් ඕනෑ

schedule  2020-Sep-26
library_books Article, General

20 වන සංශෝධනය සදහා ජනමත විචාරණයක් ඕනෑ

ලිබරල් පක්ෂය

 

ලිබරල් පක්ෂයේ මහලේකම් නීතීඥ කමල් නිශ්ශංක මහතා ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සංශෝධනයේ කෙටුම්පත අධ්‍යයනය කල බවත් එහි යම් යම් වගන්ති ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ක්‍රියාත්මක වීම සදහා හාණිදායක බවත් ඒ අනුව එකී වගන්ති පිලිබදව පාර්ලිමේන්තුව තුල දීර්ඝ සාකච්ඡාවක් සහ විවාදයක් ඇතිවිය යුතු බව ප්‍රකාශ කර සිටී.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ස්වාධීන මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවත් එමගින්ම එකී කොමිසමේ ස්වාධීනත්වය තහවුරු වන බවත් ඒ අනුව එකී වගන්ති 20 වන සංශෝධනයට ඇතුලත් කල යුතු බවත් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික සංඛ්‍යාව පස් දෙනෙකු (5) දක්වා වැඩි කිරීම පිලිබදව විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර සිටී.

ලිබරල් පක්ෂය තවදුරටත් අවධාරණය කරන්නේ විඝණන සේවය සහ ප්‍රසම්පාදන කොමිසම පිළිබද වගන්ති ආරක්ෂා වියයුතු බවත් ඒවා ඉවත් කල හොත් මතු විය හැකි තත්වය භයානක විය හැකි බවත්, මූල්‍ය වගකීම තහවුරු කිරීම ලෝකයේ සියලුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් පිලිගත් සංකල්පයක් බවත් ප්‍රකාශ කර සිටී. තවද යෝජිත විසිවන (20) සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන් ඡන්දයෙන් පත් කරන ආයතනයන්ට හෝ රාජ්‍ය සේවයට හෝ විදේශ සේවයට ඇතුලත් කර ගැනීමට විරෝධය දක්වා සිටී. තවද යෝජිත 20 වන සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලය පුළුල් කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති වගන්ති වලට විරුද්ධ බවත් ˝අවම රාජ්‍ය සංකල්පය˝ පිලිගන්නා ලිබරල් පක්ෂය සාමාජිකයන් 25 කගෙන් පමණ යුක්ත අමාත්‍ය මණ්ඩලයක් රටට වඩාත් සුදුසු බව යෝජනා කරයි. ස්වාධින රාජ්‍ය කොමිෂන් සභාවක සහ ස්වාධීන අධිකරණයකද පැවැත්ම තහවුරු කරන වගන්ති 20 වන සංශෝධනයෙහි නොමැති බවත් ඒ අනුව අනාගතයේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබද ගැඹුරු අර්බුධයක් ඇති විය හැකි බවත් එමගින් වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම අපහසුකාරණයක් වනු ඇති බවත් ලිබරල් පක්ෂය ˝අධිකරණයේ ස්වාධීනත්වය˝ සහ ˝නීතියේ පාලනය˝ පිලිබද සංකල්ප පිලිගන්නා පක්ෂයක් බවද ප්‍රකාශකර සිටියේය.

යෝජිත 20 වන සංශෝධනය මගින් රට එක් පුද්ගලයෙකුගේ ආඥාදායකත්වයට යට වන බවත් එමගින් රටෙහි අධිකාරීවාදී පාලනයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි බවත් ලිබරල් පක්ෂය ප්‍රකාශ කර සිටියි. විධායක ජනාධිපතිවරයෙකුගේ බලය වැඩි කිරීම මගින් රටේ ආර්ථික දියුණුව වැඩිකල හැකිය යන්න මිත්‍යාවක් බව ප්‍රකාශ කරන අතර 1977 සිට 1989 දක්වා ශ්‍රී ලංකාවේ සුළු පිරිසකගේ ආර්ථිකය වර්ධනය වූ බවත් අති බහුතරයකගේ ආර්ථිකය කඩා වැටුණු බවත් ඒ අනුව දිළින්දන්ගෙත් දිළින්දන් සදහා දිළිදුකම පිටුදැකීමේ ව්‍යාපෘතියක් ලෙස ජනසවිය හදුන්වාදීමට එක්සත් ජාතික පක්ෂයටම සිදුවූ බවත් ප්‍රකාශකර සිටී.

රටක ආර්ථිකය වර්ධනය කිරීමට ජාතීන් අතර සමගිය අත්‍යාවශ්‍ය බවත් ‍වෙළදපොල තුල නිදහස් තරගය තිබිය යුතු බවත් ප්‍රකාශ කරන ලිබරල් පක්ෂය 20 වන සංශෝධනය සම්මත වුවහොත් එමගින් තෝරාගත් සුළු පිරිසකගේ බලය වැඩිවන බවත් ඒ අනුව දූෂණය සහ අක්‍රමිකතා වැඩිවන බවත් සහ ස්වධීන කොමිෂන් සභා සහ විගණන සේවය අක්‍රිය වීමෙන් තවදුරටත් ආර්ථිකය කඩා වැටෙන බවත් ප්‍රකාශ කරයි.

තවද 20 වන සංශෝධනය සම්මත වුවහොත් ඉන් පසු පාර්ලිමේන්තුවේ ස්වෛරීභාවය සහ ජනතා පරමාධිපත්‍යයද අහෝසි වන බවත් ඒ අනුව රටෙහි දේශපාලන ප්‍රභූ වංශයක් (රාජ වංශයක්) ඇතිවී ඔවුන් හිතුමතේට රට පාලනය කල හැකි බවත් එමගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යටපත් විය හැකි බවත් ප්‍රකාශ කරයි.

ඉහත සියළු කරුණු සහ වෙනත් කරුණු සලකා බැලීමෙන් පසු ලිබරල් පක්ෂයේ ජාතික කාරක සභාවේ මතය වන්නේ යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සදහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමකින් තොරවම ජනමත විචාරණයක් පවත්වන ලෙසත්  එවැන්නක් මන්ත්‍රීවරු 150 දෙනෙකුගෙන් සම්මත කර ගැනීමට වඩා සුදුසු බව ප්‍රනාශ කර සිටියි.

 

 

නීතීඥ කමල් නිශ්ශංක

මහ ලේකම්, ලිබරල් පක්ෂය

2020.09.22

Latest News